
ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඝාතන තැත ඇතුළු බරපතල අපරාධ රැසකට සම්බන්ධ, පාතාලයේ කුප්‍රකට චරිතයක් වන ‘ලොකු පැටී’, යුද හමුදාවේ විශේෂ බළකායෙන් පළා ආ හිටපු සෙබළුන් යොදා ගනිමින් නව සන්නද්ධ කල්ලියක් ගොඩනගමින් සිටින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) තොරතුරු හෙළිකරගෙන තිබේ.
මෙම තොරතුරු මතු වී ඇත්තේ, ලොකු පැටීගේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් කෝටි 33ක කළු සල්ලි සුදු කිරීමේ චෝදනාව මත පසුගිය ඔක්තෝබර් 16 වන දා අත්අඩංගුවට ගත් ගන්දර ප්‍රදේශයේ කපුවෙකුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වල ප්‍රතිඵලයක් ලෙසය. එම විමර්ශන ඔස්සේ, ලොකු පැටීගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළ, යුද හමුදා විශේෂ බළකායේ සේවය කර පළා ආ පුද්ගලයෙකු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් මෙම හිටපු විශේෂ බළකා සෙබළා, ප්‍රශ්න කිරීම් හමුවේ තමා මුහුණ දෙන ඉරණම පිළිබඳව හෙළිකර තිබේ. තමන් දැන් “වළට වැටී” ඇති බවත්, මෙම අපරාධ ලෝකයෙන් ගැලවීමට හෝ ආපසු හැරවීමට කිසිදු ඉඩක් නොමැති බවත් ඔහු පවසා ඇත. එසේ කිරීමට උත්සාහ කළහොත් ලොකු පැටී විසින් තමන්ව මරා දමනු ඇති බවට ඔහු පවසා තිබේ.
සිය බිරිඳට සහ දරුවන්ට සැපවත් ජීවිතයක් ලබාදී, දරුවන් ජාත්‍යන්තර පාසල්වලට යොමු කළ ද, තමන් කොයි මොහොතේ වෙඩි උණ්ඩයකට බිලිවේදැයි නොදැන දැඩි භීතියකින් ජීවත් වන බව ඔහු කියා ඇත. තමා දන්නා කියන, හමුදාවෙන් පළා ආ තවත් සෙබළුන් පහළොස් දෙනෙකු පමණ තමන් විසින් ලොකු පැටීගේ ජාලයට සම්බන්ධ කර දුන් බවද මෙම සැකකරු වැඩිදුරටත් පාපොච්චාරණය කර තිබේ.
‘මාකඳුරේ මධුෂ්’ගේ සමීපතමයෙකු ලෙස පාතාල ලෝකයට පිවිසි ලොකු පැටී, 2017 මැයි 09 වන දා පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට එල්ල වූ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකි. එම ප්‍රහාරයේදී ප්‍රධාන පොලිස් පරීක්ෂක රංගජීව මහතාට බරපතල තුවාල සිදු වූ අතර, එහි වෙඩික්කරු වූ ‘ආමි අසිත’ රැගෙන යතුරුපැදිය පැදවූයේ ලොකු පැටී බවට අනාවරණය වී ඇත.
මෙම සිද්ධියෙන් පසු ඇප මත නිදහස් වී නීති විරෝධී ලෙස රටින් පළා ගිය ලොකු පැටී, ඉන්දියාව, ඩුබායි සහ බෙලරූස් වැනි රටවල රැඳී සිටිමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම සහ මෙරට අපරාධ රැසක් මෙහෙයවා තිබේ. 2024 ජූලි 08 වන දා අතුරුගිරියේදී ‘ක්ලබ් වසන්ත’ ඇතුළු දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය විදේශයක සිට මෙහෙයවූයේ ද ඔහු විසිනි.
ජාත්‍යන්තර පොලීසිය මගින් නිකුත් කර තිබූ රතු වරෙන්තුවකට අනුව බෙලරූස් රාජ්‍යයේදී අත්අඩංගුවට පත් වූ මොහු, පසුගිය වසරේ මැයි 04 වන දා ශ්‍රී ලංකාවට රැගෙන එන ලදී. අධිකරණ නියෝග මත මේ වන විට බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටිය ද, ඔහු එහි සිට ජංගම දුරකථන නිදැල්ලේ භාවිත කරමින් සිය මත්ද්‍රව්‍ය ජාලය සහ අපරාධ කල්ලි අඛණ්ඩව මෙහෙයවන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන තිබීම විශේෂත්වයකි.




