මෙවර වාර්තා තබන මැතිවරණයක්


නාම යෝජනා භාරදීමෙන් පසු ප්‍රධාන අපේක්ෂකයන්ගේ මංගල රැලි තුනම පවත්වා අවසන්ව ඇත. එම රැලිවලදී සජිත් ප්‍රේමදාසත්, ගෝඨාභය රාජපක්ෂත්, අනුර කුමාර දිසානායකත් කී දේ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයන් මඟින් කිවයුතුව තිබෙන අදහස් ගැබ් කරගත් ඒවා යැයි සිතිය හැකි තරමේය.

ජනාධිපතිවරණයට ප්‍රධාන දේශපාලන දහරාවේ අපේක්ෂකයන් අතරින් කල්තියාම නම් කෙරුණේ ගෝඨාගේ නමය. මත ගැටුම් රැසක් මැදින් එක්සත් ජාතික පක්ෂය සජිත් ප්‍රේමදාසව නම් කිරීමත් සමඟ බෙදෙන්නට තිබුණු එජාපයත් එක්සත් වූ අතර ඊට සම්බන්ධ වීමට සිටි පක්ෂ හා බලපෑම් කණ්ඩායම්ද එක් වී ඇත. ඒ අනුව කලින් නාමකරණය වූ ගෝඨා සිය මංගල රැලිය පසුගිය 9දා අනුරාධපුරයේදී පැවැත්වීය. ඊට විශාල ජනතාවක් සහභාගි වූ අතර එහිදී ශ්‍රීලනිපයද ශ්‍රීලංකා පොදුජන පෙරමුණට එක්වූ බව සංකේතවත් කරමින් මෙන් දුමින්ද දිසානායක වැනියවුන් ද ගෝඨාභයේ වේදිකාවේ වාඩි වී සිටිනු දක්නට ලැබිණි. කලින් ගමන පටන් ගත් ගෝඨා කලින්ම මංගල රැලියද පැවැත්වූ අතර ඔහු එහිදී තීරණාත්මක තැනදී ගොවි ජනතාවගේ හදවතට වදින පොරොන්දුවක් දුන්නේය. ඒ දැනට රු. 300ක් ලබාගෙන දෙන ගොවියන්ට පොහොර සහනාධාරය තමන් බලයට පත්වූ වහාම මුදලක් අයකර ගන්නේ නැතිව නොමිලයේම ලබාදෙන බවය.

ඡන්ද දායකයන් අතර ගොවි ජනතාව බලවත් බව කවුරුත් දන්නා දෙයකි. එසේම තරුණ පරපුර ගොවිතැනට නැඹුරු නොවන්නේ කලකිරිම නිසා බවත් ඔවුන්ට ගොවිතැන ආඩම්බර විය හැකි වෘත්තියක් ලෙස කරගෙන යෑමට අවශ්‍ය පරිසරය තමන් බලයට පත්වූ වහාම ඉටුකරන බවත් ගෝඨා කීවේය. ඵමෙන්ම ඔහු ගම්බද ගැමි කාන්තාවන් ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රම යටතේ ණය අරගෙන ණය ගෙවාගත නොහැකිව හිර වී සිටින තත්ත්වය තමන් තේරුම් ගෙන සිටින නිසා බලයට පත්වූ වහාම එම ණයද කපා හරින බව කීවේය. මේවා කළ හැකි වන්නේ කෙසේදැයි පැහැදිලි නැතත් පොරොන්දු වශයෙන් ඒවා ගෝඨාට වැදගත් වන්නේය. 

පොහොට්ටුවේ මංගල මහ රැලියේ පුමුඛම තේමාව වූයේ “රට විකුණන් කන මේ ආණ්ඩුව ලැබුණු මුල්ම වතාවෙම පන්නා දමමු” ය කියලාය. එහෙත් සජිත් ප්‍රේමදාසගේ කතාවේදී ඔහු කියන්නේ ජනතාවට තෘප්තිමත් ජීවිතයක් නිර්මාණය කළ හැකි පරිසරයක් නිර්මාණය කළ යුතු බවය. සංඛ්‍යා ලේඛන හරහා අත්පුඩි ගසා තෘප්තිමත් වෙනවාට වඩා ඒ සතුට, තෘප්තිය ජනතාවටම දැනී ඔවුන් අත්පුඩි ගසා දක්වන දියුණුවක්  මහ පොළොවේ ඇති කළ යුතු බවය. සුපුරුදු පොරොන්දු වට්ටෝරු වෙනුවට ජනතාවට තමන්ගේ ජීවිතය ගොඩනඟාගෙන ඉහළට නැඟගෙන යා හැකි ඉණිමගක් හදාදෙන්නට තමන් කැපවෙන බවත් සජිත්ගේ කතාවේ හරය වී තිබුණේය. ජනදුක හඳුනන පොදු ජනතා සේවයට කැපවූ ප්‍රගතිශීලි සංවර්ධන යුගයක් උදාකිරීම ඔහුගේ ඉලක්කය වී ඇති බැව් පෙනෙයි.

අනුර කුමාරද තමන්ගේ පළමු ජන රැලියේ දී ප්‍රදේශයේ ගොවි ජනතාවගේ හදගැස්ම හඳුනාගනිමින් ආකර්ෂණීය කතාවක් කළේය. ඒ පසුගිය 8දා තමන්ගේ ගම වූ තඹුත්තේගමට පැමිණෙමින්ය. ඔහු කීවේ දේශපාලනය අයින් කරලා හොඳ කළමනාකරණයක් දිය හැකි නම් ඕනෑම ආයතනයක් ගොඩගත හැකි බවත් කීවේය. තමන් බලයට පත්වූ වහාම ගොවි ජනතාව වෙත විශේෂ උනන්දුවකින් කටයුතු කරන බවත්, පාරම්පරික බීජ සම්පත වර්ධනය කර ඒවා ගොවි ජනතාවට ලබාදෙන වැඩපිළිවෙළක් ඇති කරන බවත් කීවේය. අනුර කුමාරගේ මුළු කතාවේම තිබුණේ හිටපු පාලකයන්ගේ පාලනයේ වූ වරද සහගත තත්ත්වයන් තදින් විවේචනය කිරීමකි. ඔවුන් කරන බව කියන අලුත් පාලනයේ ව්‍යුහය ගැන පැහැදිලි කිරීමක් කෙරුණේ නැති වුවද ප්‍රදේශයේ ජනතාවගේ හිතට වදින කතාවක් ඔහු කළේය. 

කෙසේ වෙතත් සජිත්, ගෝඨා සහ අනුර කුමාර හැරුණු විට සෙසු අපේක්ෂකයන්ගේ කතා සහ ඔවුන් ජනතාව අමතමින් සිට කියන කරුණු ගැන තදබල කතා බහක් ජනතාව අතර දක්නට නැත. මේ අතර ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයේ ප්‍රතිඵලයෙන් දැනගත හැකි වෙන බව කියමින් පොහොට්ටුවේ ප්‍රචාරක ව්‍යාපාරය රට පුරා “ජයග්‍රාහී මතයක්” ගොඩනඟන්න ප්‍රබල උත්සාහයකය. ඔවුන් විශ්වාස කරන පරිදි ඇල්පිටිය ප්‍රතිඵලය ප්‍රතිශතයක් වශයෙන් 70% ක් ඉක්මවා පෙන්විය හැකි බවය. මහින්ද ඇල්පිටියේ අවසන් ජන රැලියට පැමිණ කෙළින්ම කීවේ ඇල්පිටිය ඉහළින්ම ජයග්‍රහණය කර දෙන ලෙසය. එහි ප්‍රතිඵලය 70%ක් ඉක්මවූ ජයග්‍රහණයක් වේ නම් ජනාධිපතිවරණයේ ජයග්‍රහණයද නියත බවත් කීවේය.

එක්සත් ජාතික පක්ෂය පුමුඛ බලවේගය තදබල ලෙස ඇල්පිටිය ඡන්ද ව්‍යාපාරයේ යෙදෙන බවක් පෙන්වන්නේ නැති වුවත් ගම් මට්ටමේදී එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද දායකයන් යම්  පිබිදීමකින් සිටින නිසාම එතෙක් කලකිරී සිටි යූ.එන්.පී.කාරයන් බොහෝදෙනා ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද පොළට යනු ඇතැයි කියැවේ. ඒ අනුව එජාපයේ හා ඊට සම්බන්ධ බලවේගයන් නියෝජනය කරන සියලුම දෙනා ඇල්පිටිය ඡන්දයට දායක වී තිබේ. ජ.වි.පෙ. ඡන්ද දායකයන්ද වෙනදාට වඩා උනන්දුවකින් තමන්ගේ සියලුම ඡන්ද දායකයන් ඡන්ද පොළට යවා ඇති බවත් කියැවේ.

කවුරු කොහොම කීවත් 2011 දී පැවැති ප්‍රාදේශීය සභා ඡන්දයේදී ඡන්දය භාවිත වූ ආකාරය ගැන විමසා බැලීම වටී. ඒ අනුව එම ප්‍රාදේශීය සභා ඡන්ද විමසිමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබී තිබෙන්නේ ඡන්ද 19,954 කි. එය ප්‍රතිශතයක් වශයෙන් 58.54% කි. එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 10,427කි. ස්වාධීන කණ්ඩායමක් තෙවැනි ස්ථානයට පත්වෙමින් ඡන්ද 2539ක් ලබාගෙන තිබිණි. ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 1100 ක් ලබාගෙන ඇත. ඒ අනුව කුමන තත්ත්වයක් යටතේ ඡන්ද දායකයන් ඡන්ද පොළට ගොස් ඡන්දය භාවිත කළද 70%ක් ඉක්මවන ප්‍රතිඵලයක් කාට හෝ නිශ්චිතවම ලැබේ යැයි කිවහැකිද යන්න විමසිය යුත්තකි. ඒනිසා ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵලයේදී කවර පක්ෂයක් හෝ සන්ධානයක් විසින් 70%කට වඩා ප්‍රතිශතයක ඡන්ද ප්‍රමාණයක් ලබාගත්තේ නම් සමස්ත ජනාධිපතිවරණයේම ඡන්ද ප්‍රතිඵලයට බල පෑ හැකි සාම්පලයක් සේ ගත හැකි යැයි කියැවෙන අදහස් ද ඇත. ඒ අනුව ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵලය ජනපතිවරණයේ පෙරනිමිත්තක් ඉඟි කරන කඩ ඉමක් විය හැකිය.

කෙසේ වෙතත් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කෙරෙහි වෙනදාට වඩා අවධානයක් යොමු කෙරෙන තත්ත්වයක් ඇති වී තිබෙන්නේ එය මෙවර ඉතාමත් තීරණාත්මක සාධකයක් වන හෙයින්ය. මංගල මහ රැලියකදී ජනාධිපතිවරණ අපේක්ෂකයා කෙසේ කීවත් එය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් වඩාත් පුළුල්ව ජනතාවට බලපානු ඇත. ජනාධිපතිවරණයේදී නම් ප්‍රතිපත්ති ප්‍රකාශයේදීම දෙමළ ජනතාවට වඩාත් බලපාන්නේ තමන්ගේ ගැටලුවලට කුමන විසඳුම් ලැබේද යන්න දැනගැනීමටය. මුස්ලිම් ජනතාවටද එය තදින් බලපාන්නේය.  ඒ  ඔවුන් මෑතකදී මුහුණදුන් අභාග්‍යසම්පන්න සමය යළි උදාවේද, තමන් යළිත් එවැනි තත්ත්වයක් කරා ඉදිරිපත් වන අපේක්ෂකයා ඇද දමාවිද යන්න ඊට වඩාත් අදාළ වන නිසාය.

දෙමළ මිනිස්සුන්ට බලපාන්නේ තමන්ටත් සෙසු ජාතීන්ටත් එක හා සමාන අයිතිවාසිකම් ලැබෙන තමන්ගේ ගැටලු විසඳන තත්ත්වයකි. එහෙම තත්ත්වයක් උදා කරන්න බැරි බව හිතන නායකයකුට දෙමළ ජනතාව ඡන්දය ප්‍රකාශ නොකරනු ඇති බවට වන මතය දැඩිය. මුස්ලිම් ජනතාවට තිබෙන්නේ මේ මොහොතේදී තමන් අනතුරකට හෙළෙන අයකු නොව වඩාත් විශ්වාසවන්ත අයෙකි. ඒ නිසාම මෙවර මැතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට ඡන්දය වැටීමේදී මෙම කාරණා තදින් බලපාන්නේය. එහිදී උතුරු නැඟෙනහිර හා කඳුකරයේ දෙමළ, මුස්ලිම් ජනතාවගේ ඡන්දය සජිත්ට වාසිදායක ලෙස ලැබෙනු ඇතැයි කියැවේ.

නමුත් ඊට වඩා වෙනස් ආකාරයෙන් දකුණු පළාතේ ඡන්දය භාවිතය මෙවර පෙරදාටත් වඩා ගෝඨාභය ඉදිරියේ වැටෙනු ඇති බවට තද විශ්වාසයක් පවතී. ගාල්ලත්, මාතරත් එහිදී වාර්තාගත වන ඡන්ද ප්‍රමාණයක් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ඉදිරියේ වැටෙන බවත් ඉන් ගෝඨා ඉදිරියේ සිටින බවත් කියැවේ.

උතුරු මැද පළාතේ තත්ත්වය තවමත් පවතින්නේ ඇතැම් තැන්වලදී අඩු වැඩි වශයෙන් වෙනස් වුවත් ගෝඨාට වාසිදායක ආකාරයෙනි. වයඹ පළාතේද තරගයක් ඇත. කෙසේ වෙතත් තවමත් ඡන්ද දායකයන්ගේ මනාපය හැසිරීම නිශ්චිතව කිව නොහැකි ඉසව්වකය. මැතිවරණ වේදිකාව තවමත් රත් වෙමින් පවතී.

එසේම පසුගියදා පාස්කු ප්‍රහාරයෙන් පසු ඇතිවී තිබෙන ආරක්‍ෂක හිඩැස ගැනද රට පුරා කතා බහක් ඇත. දෙපාර්ශ්වයේම ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතරින් පොහොට්ටුවෙන් ගෝඨාත්, සජිත් පාර්ශ්වයෙන් ෆොන්සේකාත් කතා බහට ලක්වන්නේ ඒ අනුවය. පාස්කු පහාරයේ අඳුරු පැතිකඩ කතෝලික ඡන්ද කෙරෙහි විශාල බලපෑමක් ඇති කරනු ඇත. එහි අවාසිය දෝලනය වනුයේ එජාපය පැත්තටය.

 මේ සියලු කරුණු කාරණා මැද ජනාධිපතිවරණයෙන් පසු පළාත් සභා හෝ මහ මැතිවරණයක් පැවැත්විය යුතු වන තැනට කටයුතු සිදුවනු ඇත. 2018 අපනයන ආදායම් වැඩි වී තිබුණත් සමස්ත ආර්ථිකය කාර්යසාධනය අතින් සෑහීමකට පත්විය හැකි තැනක නැති බවක් කියැවේ. 2018දී ඒ ඒ හා සබැඳි ආනයනයද වැඩි වී ඇත. ඒ නිසා අපනයන ආර්ථිකයෙන් වාසිදායක ප්‍රතිලාභ ලබාගන්නට බැරිවුණු තත්ත්වයක් පවතී. 

මහ බැංකු වාර්තා අනුව 2018 වර්ෂයේදී වෙළෙඳ ගිණුමේ හිඟය තවදුරටත් පුළුල් වී ඇත. එම පුළුල්වීමේ වේගය මධ්‍යස්ථයේ තබා ගැනීමට හේතු වුවත් ආර්ථිකයේ වේගවත් ප්‍රසාරණයක් සිදුවිය යුතුම මොහොතක එය සිදුවන්නේ නැති තැනකය. පවතින ණය පියවීම උදෙසා ණය ගැනීම නිසාම ණය ගැතිභාවය තවදුරටත් වැඩිවෙමින් පවතී. මහ බැංකුව එහි පළමු අන්තර් ජාතික ස්වෛරී බැඳුම්කර දියත් කිරීමෙන් ඩොලර් බිලියන 2.4ක් උපයා ගැනීමෙන් ඉක්බිතිව එම මුදල විශාල වශයෙන් ගත් ණය ගෙවීම සඳහා යොදාගෙන තිබෙන බවත් පෙනෙයි. ඒ නිසා රටේ පවතින ණය කළමනාකරණය කරගත නොහැකි තත්ත්වයක් උදා වී ඇත. 

තත්ත්වය මෙසේ තිබියදී ජනාධිපතිවරණය දිනාගැනීම උදෙසා ප්‍රධාන අපේක්ෂකයන් නියෝජනය කරන බලවේග පොරොන්දු රැසක් දෙනු ලබන අතර එහිදී ආණ්ඩුව කරවමින් දැනටමත් ප්‍රතිලාභ සහ සහන ලබාදීම වෙනුවෙන් රටේ පවතින ආර්ථික තත්ත්වය නොසලකා කටයුතු කිරීමද බරපතළ කාරණයක් වනු ඇත. කවුරු ජයගත්තේ වුව දුන් පොරොන්දු ඉටුකිරීමත්, දැනටමත් දී තිබෙන සහන පවත්වාගෙන යෑම සඳහාත් කාටකාටත් අනාගතයේදී අසීරුතා රැසකට මුහුණදෙන්නට සිදුවනු ඇත. ඒ ඒ අපේක්ෂකයන්ට පැමිණි වහාම ප්‍රාතිහාර්ය පෑ නොහැකි වනවා මෙන්ම ඒ ඒ අපේක්ෂකයන්ගෙන් ඒ කියූ සැණින්ම ප්‍රතිලාභද බලාපොරොත්තු තබා ගත නොහැකි බව ජනතාව හඳුනා ගනිමින් සිටීමද විශේෂත්වයකි. 

ජනාධිපතිවරණය වෙනුවෙන් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර තියුණු සටනක් ඇති කරලීම උදෙසා ශ්‍රී ලනිපයේ සහායද ලබාදීමට වන තත්ත්වයට එම පක්ෂයද පත්වීම මෙම මැතිවරණයේදී කැපී පෙනෙන්නක් වී ඇත. මෙරට බිහි වූ ප්‍රධානම පක්ෂයක් වූ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ ජන පදනම දෙදරා ගිහින් එහි බහුතර ජනතාවක් ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ වටා ඒකරාශිවීමත් සුවිශේෂී සිදුවීමක් විය. ශ්‍රී ලනිපයේ සාරය උරාගෙන බිහි වූ පොදුජන පෙරමුණට ශ්‍රී ලනියේ ඉතුරු බිතුරු ටිකත් එකතුවීම තුළ ගෝඨාභයට තවත් ශක්තියක් ලැබී ඇත. 

ඒ අනුව මෛත්‍රි මෙම මැතිවරණයේදී නිර්පාක්ෂිකව සිටින බව ප්‍රකාශ කරන්නට වන තරමට දේශපාලනික වශයෙන් කරුණු කාරණා රැසක් පෙළ ගස්වා ඇත. මෛත්‍රි මෙහිදී තනි වූ බවක් පෙන්වන අතර ඔහු වටා සිටි සියල්ලෝම දැන් පොදුජන එක්සත් පෙරමුණ වටා රොක්ව තිබේ. 

එක්සත් ජාතික පෙරමුණ හා ඒ වටා ඒකාරාශි නොවූ තවත් බලපෑම් කණ්ඩායම් හා සුළු පක්ෂ හා කණ්ඩායම්ද තව තවත් එක්රොක් වීමෙන් මෙවර මැතිවරණයේදී තියුණු සටනක් දීමට වන තත්ත්වයක් උදාකර දෙන්නේය. 

අපේක්ෂකයන් රාශියක් ඉදිරිපත් වුවත් ඉන් ඇතැමෙක් සිය ප්‍රචාරණ කාලසීමාවේදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් කාට හෝ සහාය දක්වනු පිණිස හැසිරිය හැකිය. ඒ අනුව එම අපේක්ෂකයන් බොහෝදෙනකුට අඩු ඡන්ද ප්‍රමාණයක් ලැබිය හැකි වන අතර පාවෙන ඡන්ද දායකයන්ගේ බහුතරයක් දෙනා සජිත්, ගෝඨා සහ අනුර අතර බෙදීයෑමේ සම්භාවිතාව වැඩි බවක් පෙනෙයි. 

ඒ අනුව ඉතිහාසයේ වඩාත් වාර්තාගතම සිදුවීම් හා ප්‍රතිඵල ලබාදෙමින් හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වන මෙම ජනාධිපතිවරණය ඉතා වැදගත් වන්නේය.

mawbima

Video Corner