බිහිසුණු ගුවන් අනතුරක අවසන් වාර්තාව එළිදක්වයි


පුද්ගලයින් රැසකට මරු කැඳවමින් පසුගිය වසරේ ඉන්දුනීසියාවේ සිදු වූ බිහිසුණු ගුවන් අනතුරට මේ මස අවසානයේ වසරක් සපිරෙයි.

බෝයිං සමාගමේ කීර්ති නාමයට විශාල කැළලක් වූ එම ගුවන් අනතුරේ අවසන් වාර්තාව එළිදැක්වීමට ඉන්දුනීසියානු විමර්ශකයින් කටයුතු කළේය.

2018 වසරේ ඔක්තෝම්බර් මස 29 වැනිදා ඉන්දුනීසියාවේ සිදු වූ බිහිසුණු ගුවන් අනතුරට ප්‍රධානම හේතුවක් වන්නේ  යානයේ පැවති යාන්ත්‍රික දෝෂයක් බව ට හෙළි වී ඇතැයි ඉන්දුනීසියානු විමර්ශකයින් පවසයි.

ඉන්දුනීසියාවේදී ලයන් එයාර් ගුවන් සමාගමට අයත් බෝයිං 737 මැක්ස් වර්ගයේ එම ගුවන් යානය අනතුරට පත්වීමෙන් 189 දෙනෙකු මියගියේය.

'ජකර්තා'  අගනුවරින් ගුවන් ගතකර ස්වල්ප වේලාවකින් යානය ඉන්දුනීසියාවේ බටහිර ජාවා පළාතේ  කැරවන්ග් නගරයට ඔබ්බෙන් වූ සාගර ප්‍රදේශයට කඩාවැටී අනතුරට පත්විය.

අනතුර සිදුව වසරක් ගතවද්දී ඒ පිළිබඳව අවසන් වාර්තාව එළිදැක්වීමට විමර්ශකයින් කටයුතු කර තිබේ.

වාර්තාව පළමුව එළිදක්වනු ලැබුවේ අනතුරෙන් මියගිය පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් ඉදිරිපිටයි.

අනතුරෙන් මියගිය සිය ඥාති සොහොයුරන් දෙදෙනා වෙනුවෙන් යුක්තිය අපේක්ෂාවෙන් ඇන්ටන් සහාදි (Anton Sahadi) මෙහි පැමිණ තිබුණි.

ඔහු පවසන්නේ අවසන් වාර්තාවේ ප්‍රතිඵලය පිළිබඳව තමන්ට කිසිසේත්ම සෑහීමට පත්විය නොහැකි බවයි.

යානයේ පැවති යාන්ත්‍රික දෝෂ  අනතුරට බලපෑ ප්‍රධාන හේතුවක් බව එම වාර්තාවෙන් විමර්ශන කමිටුව අනාවරණය කර තිබේ.

කෙසේ වෙතත් සහාදි, පවසන්නේ බෝයිං 737 මැක්ස් යානාවල  පාලන පද්ධතියේ පැවති දෝෂ සහගත බවද අනතුරට බලපෑ ප්‍රධාන හේතුවක් ලෙස එම වාර්තාවට ඇතුළත් විය යුතු බවයි.

ගුවන් ගතකර විනාඩි 13ක් වැනි කෙටි කාලයකින් යානය කඩාවැටී අනතුරට පත්වීමට එය හේතු වූ බව පසුව අනාවරණය විය.

ලතීෆ් නූර්බානා ට එම අනතුරෙන් සිය පුතු අහිමි වී තිබේ.

වින්දිතයින්ගේ සියලුම පවුල්වල සාමාජිකයන්ට මෙන් තමන්ටද පැහැදිලි පිළිතුරක් අවශ්‍ය බව ඔහු කියා සිටියේය.

Video Corner