බොලීවියානු ජනාධිපතිවරණයෙන් එවෝ මොරාලෙස්ට ජය


බොලීවියානු ජනාධිපතිවරණයෙන් එවෝ මොරාලෙස් ජයගෙන තිබේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය විරුද්ධවාදීන් කෝප ගැන්වීමට හේතු වී ඇති බව සඳහන් වෙයි.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට එරෙහිව බොලිවියාවේ ලා පාස් (La Paz) අගනුවර විරෝධතා ආරම්භ වී තිබේ.

බොලිවියානු වැසියන් විශාල පිරිසක් ඊට එක්ව සිටි බවටයි වාර්තා වන්නේ.

පැවති ජනාධිපතිවරණයෙන් යළිත් වරක් සිය බලය තහවුරු කර ගැනීමට බොලිවියානු ජනාධිපති එවෝ මොරාලෙස් (Evo Morales) සමත් විය.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව රට තුළ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ උත්සන්න වීමට පටන් ගෙන ඇති බව සඳහන්.

මැතිවරණයේ අක්‍රමිකතා සිදුව ඇති බව විරෝධතාකරුවන් පවසයි.

රජය එම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් පවසන්නේ මෙය විරුද්ධවාදීන්ගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක කොටසක්  බවයි.

ලා පාස්  අගනුවර පිහිටි මැතිවරණ ගොඩනැගිල්ල අසළ සිය ගණනක් ජනතාව විරෝධතාවේ නියැලුණු ආකාරයයි මේ.

නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵලයට අනුව වාමාංශික ජනාධිපති  එවෝ මොරාලෙස් ජනාධිපතිවරණයෙන් සියයට 46කට වැඩි  ඡන්ද ප්‍රතිශතයක්  ලබාගෙන  ප්‍රතිවාදී අපේක්ෂකයා අභිබවා  ඉදිරියට පැමිණ තිබේ.

කෙසේ වෙතත් එය සැළකිය යුතු මට්ටමේ විශිෂ්ට ජයග්‍රහණයක් නොවන බව වාර්තා වෙයි.

බොලිවියානු සමාජවාදී පක්ෂයේ නායක  එවෝ මොරාලෙස් පුරා වසර 14ක් එරට පාලනය කළේය.

කෙසේ වෙතත් මේ වන විට ඔහුගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදය වර්ධනය වෙමින් පවතින අතර ඇතැම් බොලිවියානු වැසියන් පවසන්නේ තවදුරටත් ආඥාදායක පාලකයෙකු යටතේ ජීවත් වීමට තමන්ට අවැසි නොවන බවයි.

අතරමැදදී  ඡන්ද ගණනය කිරීමේ කටයුතු අතිහිටුවීමට බලධාරීන් පියවර ගැනීමත් සමග මෙම  අර්බුදකාරී  වාතාවරණයක් පැනනැගුණා.

එම අවස්ථාව වන විට ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාටම දෙවන වටයකට යාමට සිදුවනු ඇති බව පෙනී ගියා.

කෙසේ වෙතත් නිකුත් වී ඇති  ඡන්ද ප්‍රතිඵලයට අනුව එවෝ මොරාලෙස් දෙවන වටයකට යාමෙන් තොරව සිය බලය තහවුරු කරගෙන තිබේ.

එවෝ මොරාලෙස් බොලිවියාවේ පළමු ස්වදේශිය නායකයායි.
 
2006 වර්ෂයේ බලයට පත්වීමෙන් අනතුරුව ඔහුගේ නායකත්වයට දැඩි අභියෝගයක්  එල්ල වූ පළමු අවස්ථාව මෙය බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Video Corner