මහින්ද රාජපක්ෂ තමාව ඝාතනය කිරීමට සූදානම් වන බවට සජින් වාස්ගෙන් චෝදනා


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වුවමනාව මත තමන්ව ඝාතනය කිරීමේ සූදානමක් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා පවසනවා.

අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ගුණවර්ධන මහතා සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයාගේ සමීප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තම බිරියට දුරකතන ඇමතුමක් දෙමින් තමාව ඝාතනය කරන බවත්, තම දරුවන්ද ප්‍රවේශම් කරගත යුතු බවත් දැනුම් දුන් බවයි.

ඒ අනුව අදාළ මන්ත්‍රීවරයාට තමන් නැවත දුරකතන ඇමතුමක් ගත් බවත්, එහිදී තහවුරු වූයේ එක්සත් ජාතික පක්ෂයට හිතවත්ව කටයුතු කිරීම හේතුවෙන් තමාව ඝාතනය කිරීමට හිටපු ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි. එම අවස්ථාවේ අදාළ දුරකතන සංවාදය තමා පටිගත කරගත් බව පැවැසූ ගුණවර්ධන මහතා එම හඬ පටය මාධ්‍ය වෙතද ලබාදුන්නා.

මෙම දුරකතන සංවාදයෙන් පසුව සජින් ද වාස් ගුණවර්ධන මහතා එම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර ඇති අතර, මාධ්‍ය හමුවේදී ඔහු එම ලිපියද මාධ්‍යයට ඉදිරිපත් කිරීමට පියවර ගත්තා.

එම ලිපියෙන් ගුණවර්ධන මහතා හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ තමාව ඝාතනය කළද, තම දරුවන්ගෙන් පළි නොගන්නා ලෙසයි. මරණ තර්ජන හමුවේ තම දේශපාලන ගමන නැවැත්විය නොහෙැකි බවත්, තමාගේ අපේක්ෂාව එළඹෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය බවත් එම ලිපියෙන් ගුණවර්ධන මහතා පෙන්වා දෙනවා.

සජින් ද වාස් ගුණවර්ධන මහතා හිටපු ජනාධිපතිවරයාට යොමුකළ ලිපිය




Video Corner