වෘත්තීයෙන් "ඉෂන්කා" ව්‍යාපාරිකාවක්


ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම ඉෂන්කා අබේසේකර. මගේ ගම මාතලේ වුණත් දැන් පදිංචි වෙලා ඉන්නේ පිළියන්දල. මම ලංකාවට රූපලාවන්‍ය ආලේපන වර්ගයක් ගෙන්වන ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. ඒ තමයි ISHskin Glowing Beauty Product’s. ඒ වගේම මම විලාසිතා නිර්මාණකාරිණියක් විදිහටත් වැඩ කරනවා. 

 

'චන්ද්‍රපාණි' රූප රචනාවට දායක වෙන්න ලැබෙන්නේ කොහොමද?

මට ආරාධනාව ලැබෙන්නේ වාසව බදුගේ අයියා හරහා. මීට කලින් වාසව බදුගේ අයියා සමග අපි වෙනත් වැඩක් කරන්න සැලසුම් කරලා හිටියේ. නමුත් ඒක ටිකක් පස්සට ගියා. යසස් අයියාගේ මේ සින්දුවට වෙනස් මූණක් හොය හොය ඉද්දි වාසව අයියා හිතලා තියෙනවා මම තමයි මේකට ගැලපෙන්නේ කියලා. එහෙම තමයි චන්ද්‍රපාණි ගීතයට සම්බන්ධ වුණේ. වාසව අයියා වගේ දක්ෂ අධ්‍යක්ෂවරයෙකු සමග නිර්මාණයකට දායක වීමට ලැබීමත් මගේ භාග්‍යයක් කියලා හිතනවා. 

 

කොහොමද චන්ද්‍රපාණි ගීතයේ අත්දැකීම්?

ඇත්තටම හොඳයි. වාසව අයියා, යසස් අයියා ඇතුළු හැමෝම මට ගොඩක් උදව් කළා. ස්ක්‍රිප්ට් එක තේරුම් කරලා දුන්නා. මට චන්ද්‍රපාණි ආශිර්වාදයක් කියලා හිතන්න පුළුවන්. මොකද ඒ වගේ ප්‍රවීණයෝ එක්ක වැඩ කරන්න ලැබීම ඇත්තටම ආශිර්වාදයක්නේ. ඇත්තටම මම මේ ගීතයේදී සැහැල්ලුවෙන් වැඩ කළා. චන්ද්‍රපාණිගේ ඇඳුම නිර්මාණය කරන්නෙත් මගේ අතින්මයි. ඒ ගැනත් සතුටුයි ඇත්තටම. 

 

චන්ද්‍රපාණි ඔබේ පලමු නිර්මාණයද?

මම මීට පෙර ගීත කිහිපයක රූප රචනාවන්වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම වෙළඳ දැන්වීම් කිහිපයකටත් දායක වුණා. දුෂ්‍යන්ත් අයියාගේ ඔමරිලතා ගීතයේ ටිකිරිලියාගේ චරිතයට සම්බන්ධ වුණා, 2017 වසරේ pizza youtube වෙළඳ දැන්වීම සහ ගිය වසරේදී ශ්‍රී ලංකන් එයාර් ලයින් එකේ වෙළඳ දැන්වමකට සම්බන්ධ වුණා. ඒකට කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ජැක්ලීන් ෆර්නෑන්ඩ්‍රස් වගේ අය සහභාගී වුණා. ඊට අමතරව මම බ්‍රයිඩ්ල් මොඩ්ලින්වලටත් සම්බන්ධ වෙනවා. ඒත් මම ගැන කතාබහට ලක්වෙන්නේ චන්ද්‍රපාණි ගීතය හරහා තමයි.

 

කොහොමද ලැබෙන ප්‍රතිචාර?

ගීතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම මටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන් ප්‍රවීණ ශිල්පීන් පවා කතා කරලා සුබ පැතුවා. යසස් මැදගෙදර අයියාගේ පියා ප්‍රවීණ ගායන ශිල්පී සෝමසිරි මැදගෙදර මහතාත් මට කතා කළා. ඔහුව මට හමුවුණ පලමු අවස්ථාව තමයි ඒ. මගෙන් මේ නිර්මාණයට සිදුවුණු සාධාරණය ගැන බොහෝ දෙනෙකු කතා කළා. ඇත්තටම ඒ ගැන සතුටුයි. විශේෂයෙන් දකුණු ඉන්දීය දමිල චිත්‍රපටයක කොටස් නැරඹුවා වැනි නිර්මාණයක් කියලා හැමෝම කියනවා. මෙහි මගේ පෙණුම ඉන්දීය නිළියකට සමානයි කියලා කියනවා. ඒ ගැන මම නිහතමානීව සතුටු වනවා. ඒ වගේම මිනිස්සු ඉෂංකාව චන්ද්‍රපාණි ලෙස දැකලා ඒ චරිතයට ආදරය කරන්න පටන් අරගෙන. මිනිස්සු ඒ නමින්ම කතා කරන එක ගැන අමුතුම සතුටක් දැනෙනවා. මේ නිර්මාණය මගේ ජීවිතේට ලොකු ආශිර්වාදයක් වෙලා. ඒ සතුට මම නිහතමානීව විඳිනවා. චන්ද්‍රපාණි බිහි වෙන්නේ වාසව බදුගේ අයියාගේ නිර්මාණශීලි ඇස සමග ඔහුගේ දක්ෂතාවය සහ යසස් අයියාගේ කටහඬත් ඔහුගේ සංගීතමය දැනුම, දක්ෂතාවය සහ ෂෙහාන් ගලහිටියාව අයියාගේ වචන ගැලපීමත් මේ නිර්මාණයේ සාර්ථකත්වයට බලපාලා තියෙනවා.

 

චන්ද්‍රපාණි ගීතයෙන් පස්සේ ආරාධනා ලැබුණේ නැද්ද?

ආරාධනා රැසක් ලැබිලා තියෙනවා. නමුත් මම ඒ කිසිම එකකට තවම හරිහැටි පිළිතුරක් දුන්නේ නැහැ. හොඳ නිර්මාණයක් ලැබුණොත් බාරගන්නවා. මීට පෙරත් ප්‍රධාන චරිතවලට කතා කරත් ගිය නැත්තේ සමහර පිටපත් කියවද්දි මට ගැලපෙන්නේ නැති බවක් තේරුණ නිසයි. අනික මම නිර්මාණයක් තෝරාගද්දි ඒකට භාවිතා කරන ඇඳුම් පැළඳුම් ගැනත් හිතනවා. ඒ නිසා හොඳ නිර්මාණයක් ලැබුණොත් දායක වෙනවා.

 

උදව් කළ අයව මතක් කළොත්?

විශේෂයෙන්ම වාසව බදුගේ අයියා ඇතුළු Bluesky Production ටීම් එක මතක් කරන්න ඕනේ. එතකොට මගේ අම්මා, මල්ලි, ආච්චිඅම්මා ඇතුළු පවුලේ අයව. මගේ තාත්තා මීට අවුරුදු දෙකකට කලින් මිය ගියා. මේ ලැබෙන ප්‍රතිචාර ඔහුත් දකින්න හිතෙනවා නම් කියලා හිතෙනවා. එතකොට ගීතයේ පද රචනය කළ ශෙහාන් ගලහිටියාව අයියා, යසස් මැදගෙදර අයියා, . එතකොට නාලක දළුගම අයියා, රාහුල් වරා අයියා, ඉෂාර මදුමාල් මල්ලි සහ මගේ මිතුරියන් වන නිෂි, රෝෂි, අමන්දා සහ තිලිණි ලියනආරච්චිවත් ආදරෙන් මතක් කරනවා. එයාලා හැමෝම මට විශාල සහයෝගයක් ලබාදුන්නා.

කැළුම් දේවින්ද


Image may contain: 1 person, close-up

Image may contain: 1 person, flower

Image may contain: 1 person, sitting

උපුටාගැනිම - සාරවිට

Video Corner