එපාම වුණේ බාහිර සම්බන්ධයක් නැතුව ඉන්න වුණ එක


උස් පහත් භේදයක්, තරාතිරමක් නොබලා ඕනෑම කෙනෙකුට කොරෝනා වෛරසය වැළඳෙන්නට පුළුවන්කම තිබේ. ඇතැම් අවස්ථාවල එය රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ ද නැත. එය වඩාත් බිහිසුණු වී ඇත්තේ එම නිසාය.

ජිනේලියා ඩි සවුසාටත් කොවිඞ් 19 වැළඳුණ අතර සති තුනක් ඇයට හුදෙකලා වී සිටින්නට සිදු වූයේය. ඇය මාධ්‍යවලට ඒ පිළිබඳව හෙළිදරව් කළේ තමා සුවපත් වී ඇති බැව් දැන ගත්තාට පසුවය.

ඇය ඇගේ සැමියා රීතේෂ් දේශ්මුඛ් හා දරුවන් සමඟ ලාතූර්හි නිවසකට ගියාය. ඒ නිවසේ අයෙකුට කොවිඞ් 19 වැළඳී තිබිණි. එම නිසාම ඔහු ඇසුරු කළ අයත් පරීක්ෂාවට ලක් විණි. ඔවුන් එදිනම ආපසු පැමිණි අතර ජිනේලියාට වෛරසය ආසාදනය වී ඇති බැව් දැනුම් දෙන ලද්දේ එන අතරමඟදීය. “හොඳ වෙලාවට රීතේෂ්ටවත් දරුවන්ටවත් වෛරසය වැළඳිලා තිබුණෙ නෑ.. ඉතින් මම හිතුවා ගෙදර ගිහින් කාමරයකට වෙලා හිටියත් ඔවුන්ට වැළඳෙන්න තියෙන ඉඩකඩ වැඩියි කියලා.. ඉතින් මම අපේ අනිත් ප්ලැට් එකට ගියා.. ඇත්තටම මට තද උණ වමනය, හුස්ම ගැනීමේ අපහසුව වගේ කිසිම රෝග ලක්ෂණයක් තිබුණෙ නෑ.. යන්තම් උණ ආවත් දවසකින් දෙකකින් ඒකත් හොඳ වුණා.. මට එපාම වුණේ කිසිම බාහිර සම්බන්ධයක් නැතුව තනියෙන්ම ඉන්න වුණ එක.. ගෙදර කාමරයක නිරෝධායනය නොවුණ මෝඩකම කියලා මට සිය දහස් වාරයක් හිතුණා.. මම තනියෙන්මයි උයාගෙන කෑවේ.. රීතේෂ් හොඳ සැමියෙක්.. හොඳ පියෙක්.. ඔහු දරුවන් බලා ගන්නා ගමන්ම මගේ සුවදුක් ගැනත් හොයලා බැලුවා.. මගේ නෑහිතවත්තු නිතරම මට දුරකතනයෙන් කතා කළා.. එහෙම නොවෙන්න මට පිස්සු හැදෙන්න තිබ්බා..” ඇය කියන්නීය.

ඇය සාමාන්‍ය තත්වයේ සිටින බැව් දැන ගන්නට ලැබුණේ දින 21කට පසුව කරන ලද පරීක්ෂණයේදීය.

“රෝග ලක්ෂණ පෙන්නුම් නොකරම මේ රෝගය වැළඳෙන්න පුළුවන් වගේම රෝගය සුව වෙන්න ආත්ම ශක්තියත් වුවමනා බව මතක තියා ගන්නම ඕන..” ඇය කියන්නීය.

Video Corner